Sunday, December 16, 2012

බඩගිනියි.. බඩගිනියි..



බඩගිනියි ගමට ඇතුලුවන තැන පිළිගැනීමේ පුවරුව

අපි බඩගිනියි... බඩගිනියි කිවුවොත් සමහරවිට කවුරුවත් ගණන් ගන්න එකකුත් නෑ. ඒත් අපේම රටේ ඇත්තො ටිකක් බඩගිනියි.. බඩගිනියි කිවුව හන්දා ඕස්ට්‍රේලියාවේ  කුඩා නගරයකුත් හැදුනා කිව්වොත් පුදුම හිතෙයි නේද..

ඕස්ට්‍රේලියාවෙ සංචාරයකට ආ වෙලාවක බඩගිනියි නගරය ගැන ආරංචිවෙලා ඒක දකින්න යන්න හිතුනා. මෙල්බර්න් වල අප හිටිය නිවසෙ ඉදන් කි.මීටර් 200 ක් විතර ඈතින් තිබුනු බඩගිනියි හොයාගෙන ගියා කියමුකො.

සිඩ්නි දෙසට යන මහා මාර්ගයේ බඩගිනියි ගමට හැරෙන සංඥා පුවරුව

සිඩ්නි නගරයට යන හියුම් නිදහස් මාර්ගයේ යන වාහන වලට හැම වෙලාවකම පොලිසිය අවවාද කරලා තිබුනෙ අධික වේගය පාලනය කරන කැමරා සවිකරලා. ඒත් මොන අවවාද කළත් ඕස්ට්‍රේලියාවෙ රියැදුරන්ට අධික වේගයෙ තරම දැනෙන්නෙ පාරඅයිනෙ තියෙන ගස් කඩාගෙන ගියාම තමයි. පාර අයිනෙ සමහර ගස්වල මල් පොකුරු ගැට ගහලා ඉටිපන්දම් පත්තු කරලා තියෙන්නෙ එහෙම අධික වේගෙන් ගිහින් මරණයට පත් වුනු තම ඥාතින් සිහිපත් කරන්න. කොහොම හරි බඩගිනියි වලට හැරෙන තැනම ලොකු අනතුරක් සිදුවුනු බව පෙනෙන්න සොහොනක්ම හදලා තියෙනවා.



අනතුරට ලක්වුනු වාහනයේ කොටස් යොදා තනා තිබූ සිහිවටනය

 එතන පාරෙන් හැරිලා කිලෝමීටරයක් විතර යනකොට බඩගිනි නගරය අපව පිළිගත්තෙ නාමපුවරුවක් ම සවිකරලා.



බඩගිනියි කියලා කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ , වික්ටෝරියා ප්‍රාන්තයේ ඕල්බරි-වොඩොන්ගා දුම්රිය මාර්ගයෙ පිහිටලා තියෙන කුඩා ගමක්. මේ දුම්රිය මාර්ගයෙ බඩගිනියි කියලා දුම්රිය නැවතුම් පළකුත් ඉදිවෙලා තිබුනා. මේ ගම මුලින්ම මිනින්දෝරුවන් විසින් මැනලා සිතියම් ගත කරලා තියෙන්නෙ 1857 දී. ජනාවාස වෙලා තියෙන්නෙත් හරිම හෙමින්.  ගමේ අය වෙනුවෙන් තැපැල් කන්තෝරුවන්පටන් අරන් තියෙන්නෙ 1879 සැප්තැම්බර් 16 වෙනිදා


බඩගිනියි ගමට ඇති සේවා ශාලාව - කැසිකිළි වැසිකිළි පහසුකම් පිටතින් තනා ඇත.

මේ පුංචි ගමට - නගරයට බඩගිනියි කියලා නම වැටිලා තියෙන්නෙ හරිම අපූරු විදියට.

1857 දි මේ ප්‍රදේශය මනින්න පැමිණි මිනින්දෝරු මහත්තයා ඊටකලින් ලංකාවෙ ටික කලක් සේවය කරලා තියෙනවා. ලංකාවෙදි ඉගෙන ගෙන තියෙනවා සිංහල වචන. සමහර විට සිංහල ටිකක් කතා කරන්නත් පුලුවංකම තියෙන්න ඇති. ඉතිං.. මේ මිනින්දෝරු මහත්තයයි.. එයාගෙ කට්ටියයි මෙහෙට ඇවිත් වැඩ පටන් ගත්තට පොරොන්දු වුනු විදිහට එයාලට අවශ්‍ය කෑම කිසි දෙයක් ලැබිලා නෑ. ඉතිං දැං බඩගිනියිනෙ. ලංකාවෙ දි ඉගෙන ගත්තු හැටියට බඩගිනියි.. බඩගිනියි.. කිය කිය ඉදලා අන්තිමේදි ගම මැනලා ඉවර කරලා බඩගිනියි..කියලා නම දැම්මලු.


බඩගිනියි ගමෙහි ප්‍රධාන හන්දිය -
සමුපකාරය,තැපැල් පෙට්ටිය මෙහි පිහිටුවා ඇත.
තවත් කතාවක කියවෙන්නෙ වෙනින් විදියකට.  රේල්පාරෙ මේ කොටස හදන්න ඇවිත් තිබුනෙ ලංකාවේ කම්කරුවන් පිරිසක්ලු. ඉතින් කලින් කිව්වා වාගෙ වැඩ කරගෙන යනකොට පොරොන්දු වුනු විදියට කෑම වෙලාවට ඇවිත්නෑ. කණ්ඩායම දවස් ගාණක් බඩගින්නෙ ඉදලා තියෙනවා.  මේ පිරිස හැම වෙලාවෙම බඩගිනියි... බඩගිනියි කියපු හින්දා මේ ගමට බඩගිනියි කියලා නම දැම්මලු. කොහොම උනත් ලංකාවෙ බඩගිනියි.. කියන සිංහල වචනෙ හන්දා ගමට නම වැටුනු බව නම් ඕස්ට්‍රේලියාවෙ ඉතිහාස පොත්වල නිල වශයෙන්ම ලියැවිලා තියෙනවා.

1905 දී බඩගිනියි හි ප්‍රධාන වීදිය
මේ ගම මුල් කාලයෙ යොදා ගෙන තියෙන්නෙ සිඩ්නි යන අයගෙ නවාතැනක් හැටියටයි. අස්සයෝ මාරුකරලා විවේක අරගෙන යන්න යොදා ගත්තත්, පහු කළක ටිකෙන් ටික පදිංචිකාරයො වැඩිවෙලා මිදි වගාව ඇරඹිලා තියෙනවා. පසුව වයින් කර්මාන්ත ශාලාවකුත් ආරම්භ කරලා තියෙනවා. කැලෑ බද ගමක් නිසා ගිණි දැල්වීමට හා පෙට්ටි සෑදීමට අවශ්‍ය ලී වර්ග සපයන තැනක් බවට පසුව පත්වෙලා තියෙනවා. පදිංචි කරුවන් වැඩි වෙනකොට 1873 දී කුඩා දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ වුනා. අලුත් සියවසක ආරම්භයත් සමගම 1903 දී කුඩා හෝටල් 3 ක්, බටර් කර්මාන්තශාලාවක්, භාණ්ඩ අලෙවි හලක්, පාසැලක් හා කුඩා පල්ලියක් ද මේ ගමෙහි ඉදි වුනා

1905 යුගයේ දී බඩගිනි ගමට හිම වැටුන අයුරු..
බඩගිනියි ප්‍රදේශයෙ ජනගහනය 1861 දි ඉදලා තියෙන්නෙ 32 යි.  1911 දි 276 ක්ද, 1961 දි 235 ක්ද , 2006 සංගනනයෙදි 460 ක් ද ලෙසින් ජනගහනය වැඩි වෙලා තියෙනවා.


1913 දී බඩගිනියි හි පැවති ක්‍රීඩා උළෙලක්. මෙයට විශාල ලිරිසක් සහභාගි වී ඇති
අතර, විශේෂ දුම්රිය සේවා ද යොදවා තිබින.
1968 දී තැපැල් කන්තෝරුව තිබුනු අයුරු
2001 වෙනකොට තිබුනු එකම වෙළදසලත් අද 2012 දි වැහිලා ගිහින් තැපැල් කන්තෝරුව වෙනුවට ගමේ හැම නිවසක් වෙනුවෙන්ම පුංචි තැපැල් පෙට්ටි වෙන් කරලා තියෙනවා. බොහාම උජාරුවට තිබුනු හන්දිය පාලුවට ගිහින්. හැබැයි ඕස්ට්‍රේලියාවෙ සාමාන්‍ය ගමක් වගේම හොද පාරවල් , ගෙවල්, ප්‍රාථමික පාසලක් දකින්නට පුලුවන්. පොදු කැසිකිළි, වැසිකිළි පහසුකම් සහිත පොදු ශාලාවක් තවමත් බඩගිනියි ගමේ දකින්නට පුලුවන්.


2001 දී මෙම වෙළදසැල  ඉතා දියුණු අයුරින් පැවතී ඇත

2012.12.15 දින වන විට එහි ඇත්තේ
වැසෙන්නට ඔන්න මෙන්න වී ඇති පොදු සමුපකාර අලෙවිහළකි.
බිදුනු වීදුරු මත අලවා ඇති සමුපකාර අලෙවිහලේ නම

ලැව්ගිණි ඇතිවීමේ හැකියාව දක්වන සංඥා පුවරුවක් ගමට ඇතුලුවන තැනම පිහිටුවා ඇත.

ගමේ පදිංචිකරුවනට දුරකතන ඇමතුමක් ගන්නත්, ලිපියක් තැපැල් කරන්නත්,
තමන්ට ලැබෙන ලිපි  එකතු කරන්නත් ප්‍රධාන හන්දියටම පැමිණෙන්නට සිදුවේ.

අද 2012 දෙසැම්බර් 15දින වන විට බඩගිනියි හි ඇති ප්‍රාථමික පාසල


ප්‍රාථමික විදුහලට ඇති ක්‍රීඩා පිටිය
ප්‍රාථමික විදුහලේ ඇතුලුවීමේ දොරටුව

අද පවතින නිවාස
                            

වික්ටෝරියා වෙ ඊසාන දිග දුම්රිය මාර්ගයෙ පිහිටලා තිබුනු බඩගිනියි දුම්රිය නැවතුම් පළ අද වන විට වැසී ගිහින්. තනි පදික වේදිකාවක් තිබුනු මෙය විවෘත කෙරුනෙ 1882 ජූනි 19 වෙනිදා. එදා භාණ්ඩ ප්‍රවාහනය ට මුලින්ම නැවැත්වූ දුම්රිය 1882 ජූලි 3 වෙනිදා මගීන් සදහා ත් විවෘත කෙරුනා. 1908 දී බඩු ගබඩාවක්ද ඉදිකෙරුනු බඩගිනියි දුම්රිය ස්ථානය 1978 වසරේ සීත සෘතුවේ නව කාලසටහන හදුන්වා දෙන විට 1978 ජූලි 5 වෙනිදා නිල වශයෙන් ම වසා දමනු ලැබුවා.


එකල තනා තිබූ බඩගිනියි දුම්රිය පොළ - මෙහි ලී වලින් තනා තිබූ පදික වේදිකාව
1980 පමණ  වන විටත් පෙනෙන්නට තිබී ඇත.

එකල බඩගිනියි වෙත පැමිණි දුම්රියක්..


 පළමුවන- දෙවන ලෝක යුද්ධ වලට සම්බන්ධ වී රට වෙනුවෙන් දිවි පිදූ බඩගිනියි හි රණ විරුවන් වෙනුවෙන් ගම මධ්‍යයේ ස්මාරකයක් හදන්න මෙහි වැසියන් අමතක කළේ නැහැ



  
කොහොම උනත් සිංහල අපේ වචනයක් මුල් කරගෙන අදටත් ඕස්ට්‍රේලියාවෙ පුංචි නාගරික ගමක් නිල වශයෙන්ම නම් කර තිබීම අපට ඇත්තටම ආරම්භයක්.

1 comment: